නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන නඩු කටයුත්තේ 14 වන සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන උදාර සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම වරෙන්තු නිකුත් කළා.


මෙම නඩු කරයේ 14 වන සැකකරු ලෙස නම් කරනු ලැබ සිටින උදාර සම්පත් නමැත්තා මේ වන විට ඩුබායි හි වාසය කරන අතර ඔහු ලංකාවෙන් පිටව ගිය ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණේ.


මෙම සැකකරු ශ්‍රී ලංකාවේ සන්නිවේදන ආයතනයකින් ජංගම දුරකථන සිම්කාඩ් පත් 55 ක් ලබාගෙන විශාල ජාලයක් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයිද  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අද පෙරවරුවේ අධිකරණයට දැනුම් දී තිබුණි.


ඒ අනුව අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම විමර්ශනය වලට පාදක වන බැංකු ගිණුම් කීපයක් පරික්ෂා කර වාර්තා කැඳවීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.


No comments

Powered by Blogger.