පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, බුද්ධි නිලධාරීන්ට යොමු කර නොමැති බව හෙලිවෙයි



ප්‍රහාරයක් එල්ලවන බවට විදෙස් බුද්ධි අංශයක් කළ අනතුරු ඇඟවීමේ බුද්ධි තොරතුර එවකට සිටි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් රටපුරා විසීරි සිටින කිසිදු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුට යොමු කර නොතිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා.


කෙසේවෙතත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් ඇතුළු පිරිසට මෙරට තුළ ප්‍රහාරයක් දියත් කිරීමට හැකිබව තමන් 2019 මාර්තු 26 වනවිටත් දැනගෙන සිටි බවයි.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ පස්වරුවේ පැමිණියේ 25 වෙනි දිනටයි.


මෙහිදී මීට පෙර ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙත විවෘත නොකර ලබාගත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි ඇසුරෙන් නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළා.


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" මේ කොමිසමට කැඳවූ එක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු පැවසුවා 2019.04.04 දින විදෙස් බුද්ධි අංශයක් මඟින් ලැබුණු ප්‍රහාරයක් එල්ලවන බවට වන බුද්ධි තොරතුර පිළිබඳව පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් ඔවුන්ව දැනුම්වත් කර තිබුණේ නැහැ කියලා. ඇයි ඒ ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" මාධ්‍ය ඉදිරියේ එයට හේතුව පැහැදිලි කරන්න බැහැ ස්වාමීනි "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" අප්‍රේල් 4 වෙනිදා විදෙස් බුද්ධි තොරතුර ලැබෙනකොට සහරාන් කොහෙද ඉන්නෙ කියල ඔබලා දැනගෙන හිටියෙ නැහැ නේද ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" ජනවාරි 20 වෙනකල් මාවනැල්ලෙ ඉන්නවා කියලා තොරතුරු ලැබුණා. නමුත් අප්‍රේල් 4 වෙනකොට කොහෙද ඉන්නේ කියලා නිශ්චිත ස්ථානයක් වාර්තා වුණේ නැහැ "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඒ වාතාවරණය තුළ රටපුරා ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් විදෙස් බුද්ධි තොරතුර පිළිබඳ දැනුම්වත් කරලා සහරාන්ලාගේ ඡායාරූප යවලා හොයන්න තිබුණා නේද ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" ස්වාමීනි 2019 මාර්තු මාසයේ තිබුණ බුද්ධි රැස්වීමේදී අපිට පැහැදිලි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. නමුත් ඒ තොරතුරු අපිට තිබුණේ නැහැ. යුධ හමුදා බුද්ධි අංශය තමයි මේ තොරතුර ගෙනාවෙ. මං ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ මේ විෂයට අදාළ සියලුම නිලධාරින් ගෙන්නලා ඇහුවා සහරාන් ඉන්නේ ඉන්දියාවේද, සිරියාවෙද, ලංකාවෙද කියලා. ඊටපස්සෙ මාර්තු 26 මම ඉන්දියාවේ තොරතුරුකරුවත් ගෙන්වලා මේ ගැන අහගත්තා. එදිනම ස්වාමීනි SIS එකේ රටපුරා ඉන්න නියෝජ්‍ය, සහකාර අධ්‍යක්ෂවරු සහ ස්ථානාධිපතිවරු ගෙන්වලා මම කිව්වා 'සහරාන් සහ ඔහුගේ ගෝලයන් ලංකාව තුළ ප්‍රහාරයක් සිදුකරන්න පුලුවන්' කියලා "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඒ කියන්නේ ඔබ අප්‍රේල් 4ට පෙර මාර්තු 26 වෙනිදා වෙනකොටත් දැනගෙන සිටියා සහරාන්ලාට ප්‍රහාරයක් කරන්න පුලුවන් කියලා..? "


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" ස්වාමීනි එහෙම හැකියාවක් තිබෙන බවට මම මගේ නිලධාරින්ට උපදෙස් පන්ති පවත්වලා දැනුම්වත් කළා. මාර්තු 26 උපදෙස් ලේඛණයක් රටපුරා ඉන්න නිලධාරින්ට යොමු කරන්න කියල ඒ පන්තියට සහභාගී වූ මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට මම දැනුම්දුන්නා "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඔය 26 වෙනිදා උපදෙස් ලේඛණය ගැන මෙච්චර දවසක් මේ කොමිසමට නොකිව්වේ ඇත්තටම ඔබට අප්‍රේල් 4 ලැබුණු තොරතුර ගැන විශ්වාසයක් නොතිබුණු නිසා නේද ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" 4 වෙනිදා whatsapp එක ආවම මට තිබුණා ඒක වටේ යවන්න. වටේ යවලා අත හෝදගන්න තිබුණා. ඊටපස්සෙ අප්‍රේල් 20 වෙනිදා එච්චර නිශ්චිත තොරතුරක් දීලත් ඒක ඉන්දියාවෙන් දුන්නේ කියලා කිව්වේ නැහැයි කියනවා. මං මේ තොරතුරු අවිශ්වාසදායි අවැදගත් කියලා හිතුවේ නැහැ "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ජයවර්ධන මහත්මයා අවවාද කරනවා හරියට කතාකරන්න කියලා. මම ආයෙත් අහනවා ඔබෙන් මාර්තු 26 වෙනිදා රටපුරා ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට සහරාන් ප්‍රහාරයක් කරන්න පුලුවන් කියලා දැනුම්දුන්නේ ඔබ නිශ්චිත වශයෙන්ම ඒ ගැන අවබෝධයකින් ඒ වෙද්දිත් හිටපු නිසා නේද ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" 2017 ඉදන් කිව්වේ ස්වාමීනි "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" අහන ප්‍රශ්නයට හරියට උත්තර දෙන්න ජයවර්ධන මහත්මයා.."


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" ඔව් ස්වාමීනි සහරාන් ලංකාව ඇතුළේ මොකක්ම හරි කරයි කියලා අවබෝධයක් තිබුණා. "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" එවැනි අවබෝධයක් තිබිලත් අප්‍රේල් 4 වෙනිදා අර විදෙස් බුද්ධි තොරතුර ලැබුණම රටපුරා ඉන්න රාජ්‍ය බුද්ධි නිලධාරින් ඒ ගැන දැනුම්වත් නොකළේ ඇයි එහෙනම් ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" මම හිතන්නේ එහෙම කරන එක වැදගත් නැහැ. මේ තොරතුර ආවේ විදෙස් අංශයකින් නිසා ඔහුගෙන්ම තමයි තොරතුරු ගන්න ඕනේ "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" නිලන්ත මහත්තයා, ඔබ අද මේ කොමිසමේ සාක්ෂි දෙන 25 වෙනි දවස. ඇයි මේ මෙච්චර කල් නොතිබුණු tension එකක් අද ඇවිත් තියෙන්නේ ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" නැහැ නැහැ ස්වාමීනි.. මට අවවාද කළානේ.. ඒකයි "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" ඔබ මේ කොමිසමේ සාක්ෂි දෙමින් පනස් වතාවකට වැඩියේ කිව්වනේ ඔබ විනයගරුක නිලධාරියෙක් කියලා. ඇයි එහෙනම් ඔබ අනිත් නිලධාරින් එක්ක කතා කරපු ඒවා රෙකෝඩ් කළේ ?"


නිලන්ත ජයවර්ධන - හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ - 

" ස්වාමීනි අද මට මොකද වෙලා තියෙන්නේ. මම යවපු රිපෝට්ස්වල ඉස්පිළි පාපිළි නැලු. මොන්ටිසෝරියේ රොපෝට් වගේලු. බිත්තර වාර්තාලු. එහෙනම් ඇයි ඒවා එවද්දි මේ බිත්තර වාර්තා එවන්නේ කියලා ඇහුවෙ නැත්තේ ඒ අය. ස්වාමීනි මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයගෙ පුතෙක් වගේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ නෙවෙයි. මිනිස්සුනට බලය නැති වෙනකොට මම ඒගොල්ලන්ගේ පුතා කරනවා. ඒකනේ දැන් මාව මෛත්‍රීපාල මහත්තයගේ පුතා කරලා තියෙන්නේ. කාලයක් මාව ගෝඨාභය මහත්තයගේ පුතෙක් කළා. කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පුතෙක් කළා. මටත් ඕනෙ බලවත් තාත්තා කෙනෙක්. ඒත් දැන් මාව අවජාතක වෙලා. ඒ මං දේශපාලනයට යටත් නොවුන නිසා. මං රෙකෝඩ් කරපු එක අනුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂට විනයක් නැහැ තමයි. හැබැයි මට එහෙම කරන්න වෙනවා. "


ඉන් අනතුරුව නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසමෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුගෙන් කෙරුණු සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත වූයේ නැහැ.


No comments

Powered by Blogger.