අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට යුධ හමුදාව සම්බන්ධ කර නොගැනීම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිදුවීමට ප්‍රබලව හේතු වුණා



අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට යුධ හමුදාව සම්බන්ධවීම්ට අවසර ඉල්ලා සිටියදිත් ඒ සදහා සම්බන්ධ කර නොගැනීම සහ යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරු වලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදිම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්‍රබලව හේතු වූ බව විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.


ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පළමුවරට සාක්ෂි ලබාදෙමින්.


කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින විශ්‍රාමික යුධ හමුදාපතිවරයා සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙම සාක්ෂි ලබාදීම විශේෂත්වයක්.



පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට යුධ හමුදාපතිවරයාව සිටි විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගෙන් ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසීමට නියමිතව තිබුණු අතර ඔහු සාක්ෂි විමසීම සදහා සම්බන්ධ වුයේ සජීවි විඩියෝ තාක්ෂණය ඔස්සේයි.


ඒ කොවිඩ්-19 වෛරසයේ ව්‍යාපෘතියත් සමග 

 විශ්‍රාමික යුධ හමුදාපතිවරයා මෙරටට පැමිණිමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැදී සිටිම හේතුවෙන්.


ඒ අනුව ඩුබායි රාජ්‍යයේ අල්ලාදා නගරයේ ලැවේන්ඩ හොටෙල් එපාර්ට්මන්ට් හි කාමර අංක 117 සිට විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එරට වෙලාවෙන් දහවල් 12.41 ට මෙරට වෙලාවෙන් ප.ව 2.50ට ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම ආරම්භ කළා.


එහිදි පළමුව රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ " ඔබ මුලින්ම ISIS ත්‍රස්තවාදීන් ගැන දැනගත්තේ මොන කාලේද සහ IS සිතියමේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව දැන සිටියාද ? " යන්නයි.


එයට පිළිතුරු දෙමින් විශ්‍රාමික යුධහමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටියේ,


" මම 2010 ඉදල හිටියේ ඩුබායිවල. ඒ නිසා ලිබියාව ඇතුළු මැදපෙරදිග සිද්ධීන් මට සමීපයි. මම දැනගෙන සිටියා කවදා හරි ජත්‍යාන්තරව පැවති මේ ත්‍රස්තවාදි අවධානමට ලංකාවටත් මුහුණ දෙන්න වෙනවා කියලා. මම යුධ හමුදාපති වුණාම දැනගත්තා IS සිතියමේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කර තිබූණා කියලා. ඒ අනුව බලද්දි ලංකාවට බලපෑමක් තිබෙන බවත් එවැනි අන්තවාදි  මත දරණ සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015 ට කලින්ම දැනගෙන සිටියා යනුවෙන්.


එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ,

" ඔබ ඒ වෙනකොට සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ගැන දැනගෙන හිටියාද ? " යනුවෙන්.


" යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මාව ඒ ගැන දැනුවත් කිරීම් කර තිබුණා. මම සහරාන්ලා ගැන දැනගත්තේ යාපනය ආඥාපති වෙලා ඉන්නකොට.

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ආදි සිද්ධි වලට සහරාන් හෂීම් සම්බන්ධ බවත් පාස්කු ප්‍රහාරයට පෙර වසර කිහිපයක ඉදලම යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ විසින් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේදි, ආරක්ෂක ආරක්ෂක කවුන්සලයේදි මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබුණා. ඒ වගේම සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබු බව යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුර ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කර තිබුණා. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් තියෙන ආයතන එය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වුණා." යනුවෙන් විශ්‍රාමික යුධ හමුදාපතිවරයා පිළිතුරු දුන්නා.


එහිදි රජයේ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේ

රාජ්‍ය බුද්ධි සේවය හා යුධ හමුදා බුද්ධි අංශය තොරතුරු ඉදිරිපත් කිරිමේදි තරගයක් පැවතියේද යන්නයි.


" ඒක ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක මං අපේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුධ හමුදා බුද්ධි අංශය අතරත් දුටුවා. මං හිතන විදිහට ඒ තරගය සහ නිසි පරිදි තොරතුරු හුවමාරු කර නොගැනීම තමයි හේතු වුණේ මට මේ විදිහට කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න. " යැයි විශ්‍රාමික යුධ හමුදාපතිවරයා පිළිතුරු දුන්නා.


ඔබ ඒ පිළිබද ඔබේ අධීක්ෂණ නිලධාරියා දැනුවත් කළේ දැයි රජයේ අධිනීතිඥවරයා විමසු ප්‍රශ්නයට  පිළිතුරු දුන් විශ්‍රාමික යුධ හමුදාපතිවරයා පැවසුවේ

" මම එවකට ආරක්ෂක ලේකම්වරු ලෙස සිටි කපිල වෛද්‍යරත්න හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බුද්ධි අංශ සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැයි කියන කාරණය කිව්වා. ඒ ගැන කතාකරමු කියලා කිව්වට ඒකට උත්තරයක් හමුවුනේ නැහැ " යනුවෙන්.


මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවේ 

අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදි යුධ හමුදා බුද්ධි අංශය සමග පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණ විශේෂ කාර්යාංශ ගැටළු ඇතිකරගත් බවයි.


" මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී 

පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශ සමග ප්‍රශ්න ඇති වුණා. සී.අයි.ඩී. එක සහ ටී. අයි. ඩී. එක තමයි එහෙම ගැටළු ඇතිකළ විශේෂ ආයතන. සී.අයි.ඩී එක ගැන උදාහරණයක් කියන්නම්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණ වලට මැදිහත්වෙන්න ඔවුන් අපේ යුධ හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුධ හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මං හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධවෙන්න අපිට අවස්ථාව දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. 

ඊළඟට මාවනැල්ල බුදුපිළිම කැඬීම සිදූවූ අවස්ථාවේ  විමර්ශන වලට සහය වීමට අපේ නිලධාරිම් ගියාම සහය අවශ්‍ය නැහැයි කියමින් ගම්පොල පොලිස් නිලධාරින් යුධ හමුදා නිලධාරින්ව පලවා හැර තිබුණා. ඔවුන් කියා තිබුණා එක යුධ හමුදාවට අයිති දෙයක් නොවෙයි කියලා. එම සිදුවීමෙදිත් මම ඊට සම්බන්ධ වෙන්න ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් අවසර ඉල්ලුවා හමුබුනේ නැහැ. අපව මෙම පරීක්ෂණ වලට සම්බන්ධ කර නොගැනීමම රට මේ වගේ වතාවරණයට මුහුණ දීමට හේතුවක් " යැයි විශ්‍රාමික යුධ හමුදාපතිවරයා කරුණු පැහැදිලි කළා.


ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ " අපිට අත්අඩංගුවට ගන්න බලය නැහැ. අපි දිගින් දිගටම තොරතුරු දුන්නා. අපි ලබාදුන් බුද්ධි තොරතුරු කෙරෙහි පොලිස්පති පූජිත් ජයසුන්දර, සී.අයි.ඩී.යේ රවී සෙනෙවිරත්න, ටී.අයි.ඩී එකේ නාලක ද සිල්වා, වරුණ ජයසුන්දර, එස්. අයි. එස් එකේ නිලන්ත ජයවර්ධන සහ සී. එන්. අයි සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපි ලබාදුන් බුද්ධි තොරතුරු වලට නිසි ප්‍රමුඛත්වයක් ලබා නොදීමත් මෙම ප්‍රහාරය සිදුවීමට එක් ප්‍රධාන හේතුවක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අන්තවාදය යන ප්‍රශ්නය ජාතික ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡාවට බදුන් වු අවස්ථා වලදි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තවාදය මැඩලීමට කුමන විසදුමක් ඉදිරිපත් කළේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් විශ්‍රාමික හමුදාපතිවරයා කියා සිටියේ,

" එතුමාගෙන් අදහස් ලබාගන්න එතුමා ජාතික ආරක්ෂක කවුන්සලයේ හිටියේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මා ජාතික ආරක්ෂක කවුන්සලය ආරම්භ කරලා විනාඩි 05 ක් හෝ 10 කින් එතනින් පිටවෙලා යනවා. ඒ ගිහින් විනාඩි 05 කින් වගේ හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් ජාතික ආරක්ෂක කවුන්සලයෙන් පිටවෙලා යනවා. ඒ නිසා අන්තවාදයට අදාළව විසදුම් දෙන්න හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක කවුන්සලයේ හිටියේ නැහැ. " යනුවෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිතුරු දුන්නා.


මෙහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර කවර ආකාරයේ රාජකාරිමය සම්බන්ධයක් පැවති බව ඔබ නිරික්ෂණය කළේද යන්නයි.


" මම යුධ හමුදාපති ලෙස පත්වුනාට පස්සේ 2017 ජුලි 04 තමයි ඉස්සෙල්ලාම ජාතික ආරක්ෂක කවුන්සලයකට සහභාගි වුණේ. මුල් කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි අතර විශේෂාකාරයේ අමනාපයක් මට නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයාගෙන් මට තිබුණු පිළිගැනීම පූජිත්ට තිබුණේ නැහැ. පසුකාලිනව 2018 මැද භාගය වෙද්දි තමයි ඔවුන් දෙදෙනා අතරේ අමනාපවීමක් මට නිරීක්ෂණය වුණේ. ඒ වෙද්දි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා කතාවක් පැතිරුණා. එත් එක්කම අපි අහලාවත් නැති පුද්ගලයෝ එළියට ඇවිත් මාධ්‍ය ඔස්සේ සන්දර්ශන තියන්න පටන් ගත්තා. මම ඒ දේවල් වලට පාවිච්චි කරන්නේ සන්දර්ශන කියන වචනේ. නාමල් කුමාර කියන පැමිණිමත් සමග තමයි හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර යම් විරසකවීමක් නිරීක්ෂණය වුණේ. " යැයි ජෙනරාල් මහේෂ් සේනානායක පිළිතුරු ලබාදුන්නා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ " නාමල් කුමාර පිටුපස සිටි පුද්ගලයා හෝ ආයතනය කවුද " යන්නයි.


" ආයතනයක් විදිහට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ස්වාමිනි, පුද්ගලයෙක් විදිහට ඒ වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂධුරය දැරු වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා " යැයි හිටපු හමුදාපතිවරයා පැවසුවා.


ඉන් අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන මුලින්ම දැනුවත් වුයේ කෙසේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ යුධ හමුදා මූලස්ථානයට මායිම්ව ශ්‍රැන්ග්‍රීලා හෝටලය පිහිටා ඇති බැවින් එහි සිදුව තිබු පිපිරීම ගැන සැනකින් දැනුවත් වු අතර පසුව කිංස්බරි හෝටලයේ සිදුව තිබු පිපිරීම පිළිබදවත් දැනුවත් වු බවයි.


එසේම පිපිරීම් සිදුවී මිනිත්තු කිහිපයක් තුළ ඒ වන විට තම බුද්ධි අංශ සතුව තිබු තොරතුරු මත මෙය සහරාන් ඇතුළු අන්තවාදින් කණ්ඩායම විසින් සිදුකර ඇති බව තමන්ට තහවුරු වූ බවත්, හදිස්සි නීතිය ක්‍රියාත්මක කර නොතිබුණද බුද්ධි නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට අවසර දුන් බවත් හිටපු යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ පිපිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැදවන බව අසන්නට ලැබුණද ඒ සදහා සහභාගි නොවන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් තමන්ව දැනුවත් කළ බවයි.


මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසුවේ ප්‍රහාරය සිදුවීමෙන් පසු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග කවර සංවාදයක් ඇති කරගත්තේද යන්නයි.


" තව වෙන්න පුළුවන් කියලා නිලන්ත කිව්වා. මම ඒ වන විට ලැබෙමින් තිබු බුද්ධි තොරතුරු මත මගේ නිලධාරින් යෙදෙව්වා කියාත්මක වෙන්න. පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක කවුසලයේදි නිලන්ත ප්‍රහාරය පිළිබදව විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන කිව්වා. ඒ වෙනතෙක් විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පුර්ව දැනුවත් කිරීම් පිළිබදව යුධ හමුදාව දැන සිටියේ නැහැ. නමුත් බොහෝ දේ දැනං ඉදලා මුකුත් කරගන්න බැරි වුණ තත්ත්වයේ කලබලකාරි බව නිලන්තගෙන් පෙනෙන්නට තිබුණා. " යැයි හිටපු හමුදාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේ පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරු පිළිබදව යුධ හමුදාව දැනුවත් නොකළේ මන්දැයි නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ නොවිමසුවේද යන්නයි.


" ජාතික ආරක්ෂක කවුන්සලයේදි කතාවුණා. නමුත් නිලන්තට එකට දෙන්න පැහැදිලි උත්තරයක් තිබුණේ නැහැ. අපේ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ එක්කත් නිලන්ත කතා කරනවා. අපි අවුරුද්දටත් හම්බුණා. නමුත් ඒ කිසිම අවස්ථාවකදි මේ තොරතුරු ගැන අපිව දැනුවත් කළේ නැහැ. නමුත් ප්‍රහාරයෙන් පස්සේ දැනගන්න ලැබුණා මේ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර පොලිසිය හරහා ප්‍රභූ ආරක්ෂක අංශ වලටත් ගිහින් තියෙනවා කියලා. ප්‍රහාරයට දැන් අවුරුද්දක් ගතවෙලාත් ඉවරයි. මට තාම ප්‍රශ්නයක් ඇයි මේ විදෙස් බුද්ධි තොරතුරු ප්‍රහාරයට පෙර හමුදාවට එව්වේ නැත්තේ කියලා. " යැයි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පිළිතුරු දුන්නා.


" ඔබ යුධ හමුදාපති ලෙස සිටි කාලය තුළ යුධ හමුදා බුද්ධි අංශ දුර්වල වුණා කියලා යම් මතයක් තියෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ " යැයි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළා.


" 2010 - 2015 කාලය අතර තුර සිදුවු අතුරුදහන්වීමේ සිදුවීම් බුද්ධි නිලධාරින් සම්බන්ධයි කියලා මගේ කාලය වන විට නඩු විභාග වුණා. ඒ සම්බන්ධයෙන් ‍යුධ හමුදා බුද්ධි නිලධාරින් 300 ක් විතර සාක්ෂි දුන්නා වරින් වර. ඒ ඔස්සේ නිලධාරින්ගේ යම් මානසික මට්ටමේ පහළ වැටීමක් සිදුව තිබුණා නමුත්. බුද්ධි නිලධාරින් 3000 න් 300 ක් සාක්ෂි දුන්නා කියලා සමස්ත යුධ හමුදා බුද්ධි අංශයම දුර්වල වෙලා තිබුණා කියලා මම හිතන්නේ නැහැ. " යනුවෙන් ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කළා.


එහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කළේ යුධ හමුදා බුද්ධි අංශ දුර්වල නොවුනානම්, විදෙස් බුද්ධි අංශයකින් තොරතුරක් ලැබෙනකන් ඇයි ඔබේ යුධ හමුදා බුද්ධි අංශයට මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබද පෙර දැනුවත් වීමේ තොරතුරක් සොයාගත නොහැකි වුයේ යන්නයි.


" යුධ හමුදා බුද්ධි අංශ මෙම ත්‍රස්තවාදින් කණ්ඩායම ගැන දිගින් දිගටම ආවේශණ රාජකාරි කළා. අපි ළග බොහෝ තොරතුරු තිබුණා. ප්‍රහාරයෙන් දින දෙක තුනක් ගතවෙද්දි ත්‍රස්තවාදින් හා සම්බන්ධතා පැවැත්වුවන් 35 ක් පමණ අත්අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු සැපයුවේ යුධ හමුදා බුද්ධි අංශ. දෙහිවල ට්‍රොපිකල් ඉන් අවන්හලේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි ජමීල් ගැන අපි මුල ඉදලම ආවේශණ රාජකාරි කළා. නමුත් අපේ පරීක්ෂණ යම් සීමාවකදි නැවතුණා. මොකද අනිත් පැතිකඩවල් ගැන පරීක්ෂණ කළේ වෙනත් ආයතන. මෙතන ලොකුම ප්‍රශ්නය බුද්ධි තොරතුරු බෙදාගත්තේ නැති එක. අපි අමාත්‍යාංශය දෙකක වැඩ කළේ. නමුත් හමුදාවයි,පොලිසියයි එකිනෙකා අතර ප්‍රශ්න තිබුණේ නැහැ. දේශපාලන බලපෑම් මතයි මේ බෙදීම් ඇතිවෙලා තිබුණේ " යැයි ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කරුණු පැහැදිලි කළා.

No comments

Powered by Blogger.