දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක්



ගම්පහ - දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු කණ්ඩායම් නායිකාවක බවට තොරතුරු අනාවරණය වී තිබේ.


දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ නිරෝධානයට යොමු කර ඇති පිරිස් අතර කොවිඩ්-19 ආසාදිත කාන්තාව රැකියාව සඳහා පැමිණීමට යොදාගත් ඇඟලුම් කර්මාන්තශාලාවේ බස් රථයේ ඇය සමග ගමන් ගත් 40ක පමණ පිරිසක් ද වන බවයි.


ඊයේ (3) රාත්‍රියේ දී මෙම කාන්තාවට කොවිඩ්-19 ආසාදනයවී ඇති බව තහවුරු වී ඇත.


මේ වන විට, අදාළ කාන්තාවට කොවිඩ්-19 ආසාදනය වූ ආකාරය පිළිබඳව සහ ඇයගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


දිවුලපිටියේ 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අද (4) උදෑසන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේ දී සිදු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණයකින් කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගෙන තිබේ.


ඒ අනුව, ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඇය මේ වන විට ප්‍රතිකාර සඳහා අයි. ඩී. එච්. රෝහල වෙත ඇතුලත් කර ඇත.


ජනතාව වඩාත් සැලකිළිමත්ව සෞඛ්‍ය ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ දන්වා සිටියි.

No comments

Powered by Blogger.