තම කාලය තුල ජාතික ආරක්ෂක කවුන්සලයේදි සහරාන් හෂීම් පිළිබද සාකච්ඡා නොවු බව හිටපු ඇමති සාගල කියයි



තමන් නීතිය හා සාමය විශය භාර අමාත්‍යවරයා ලෙස කළ කාලය තුල ජාතික ආරක්ෂක කවුන්සලයේදි සහරාන් හෂීම් පිළිබද සාකච්ඡා නොවු බව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.


පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂිදෙමින් ඔහු මේ බව සදහන් කළා.


පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සදහා හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයෙකු වූ සාගල රත්නායක මහතා ඊයේ පැමිණියේ පළමු දිනටයි.


එහිදි සාක්ෂි ලබාදෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එතෙක් එකම අමාත්‍යාංශයක් යටතට වැටුණු ආරක්ෂාව සහ නීතිය හා සාමය යන විශය පථයන් අමාත්‍ය දෙකක් යටතේ පවතින ලෙස වෙන් කෙරු බවයි.


ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේත්, නීතිය හා සාමය අමාත්‍යාංශය වෙනත් අමාත්‍යවරයෙක් යටතේත් පවත්වාගෙන ගිය බව හිටපු අමාත්‍යවරයා සදහන් කළා.


එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ ඔබ නීතිය හා සාමය විශය භාර අමාත්‍යවරයාව සිටි කාලය තුළ යුධ හමුදා බුද්ධි අංශ වලින් සහ රාජ්‍ය බුද්ධි සේවයෙන් ඔබවෙත වාර්තා සැපයීමක් සිදුකළේද යන්නයි.


එයට පිළිතුරුදෙමින් සාගල රත්නායක මහතා,


"  රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු වාර්තා කළේ ආරක්ෂක ලේකම්වරයාට පමණයි. නමුත් නීතිය හා සාමය සම්බන්ධයෙන් වැදගත් වෙන වාර්තා මට යොමු කරනවා. මට ඒ වගේ වාර්තා 407 ක් පමණ ලැබිලා තියෙනවා. යුධ හමුදා බුද්ධි අංශ නම් මට වාර්තා ඉදිරිපත් කලේ නැහැ. " යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.


ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නැමැති ආයතනයක් හරහා බුද්ධි තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කෙරෙන බව ඔබ දැනසිටියේදැයි මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු ලෙස සාගල රත්නායක මහතා කියා සිටියේ තමන් මෙම අවස්ථාව වන තෙක් එවැනි ආයතනයක් හෝ එවැනි ක්‍රියාවලියක් පිළිබද දැන නොසිටි බවයි.


එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ ඔබ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් කොපමණ ප්‍රමාණයකට සහභාගි වුණාද යන්නයි.


එයට පිළිතුරු දෙමින් සාගල රත්නායක මහතා කියා සිටියේ තමන් සහබාගි වු බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් ගණන පිළිබද නිශ්චිත මතකයක් නොමැති වුවද, ජාතික ආරක්ෂක කවුන්සල 09 කට පමණ ආරාධනා ලැබි ඇති අතර ඉන් බොහෝ ප්‍රමාණයකට සහභාගි වු බවයි.


එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය පෙරළා ප්‍රශ්න කළේ ඔබ සහභාගි වු ජාතික ආරක්ෂක කවුන්සල රැස්වීම් වලදී සහරාන් හෂීම් පිළිබද සාකච්ඡා වුනේද යන්නයි.


" නැහැ මට එහෙම මතකයක් නැහැ. එහෙම කතාවුනානම් මම ගත්තු පියවර ගැන සොයා බලනවා. නීති උපදෙස් ගත්තද කියලා සොයා බලනවා " යනුවෙන් හිටපු අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.


එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ එම ජාතික ආරක්ෂක කවුන්සල වලදි සහරාන් අත්අඩංගුවට ගන්න කියා එවකට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබුණෙද යන්නයි.


" නැහැ කිසිදු අවස්ථාවක නැහැ යනුවෙන් රත්නායක මහතා ජනාධිපති කොමිසම හමුවේ පිළිතුරු ලබාදුන්නා.

No comments

Powered by Blogger.