හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පූජිත් ජයසුන්දරගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි කරුණු රැසක් කොමිසම හමුවේ හෙළිකරයි





පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාර ගෙන පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් තානාපති ධූරයක් ලබාදෙන බවට තමන් පූජිත් ජයසුන්දර මහතාට කිසිසේත් නොපැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.


එමෙන්ම මේ වනවිට රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරමින් හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේ නිශාන්ත සිල්වා පසුපස ක්‍රියාත්මක වුයේ ජාත්‍යන්තර LTTE සංවිධාන බවයි.



පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ආරක්ෂක අමාත්‍ය ධූරය දැරූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ තුන්වෙනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.


මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු නැවත අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා කැදවූයේද යන්නයි.


තමන්ට ඒ පිළිබඳ මහතකයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" මෙම කොමිසමට සාක්ෂි ඉදිරිපත් වුණා ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවූවේ නැහැ කියලා..?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" ස්වාමීනි ගැසට් එක අනුව අගමැතිව ඊට කැඳවන්න ඕනෙ නැහැ. ජනාධිපතිට අවශ්‍යනම් පමණයි කැඳවන්නේ. ඒ නිසා මම කැඳවන්නේ නැතිව ඇති. මට හරියට මතකයක් නෑ ආවද කියලා එතුමා. "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය 

" හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඔබෙන් ඇහුවලු අග්‍රාමාත්‍යවරයා කැඳවනවාද කියලා. එතකොට ඔබතුමා කිව්වලු 'ඔයාට පිස්සුද?' කියලා.. ඇත්තද ඒක ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" එහෙම පිස්සුද කියලනම් වචනයක් භාවිත කරලනම් නැතුව ඇති."


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය 

" ඔය රැස්වීම්වල මුස්ලිම් අන්තවාදය ගැන සාකච්ඡා කළාද ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" 2016 ඉදලා අපි මුස්ලිම් අන්තවාදය ගැන සාකච්ඡා කළා."


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ඔබතුමාලට තොරතුරු ලැබුණද සහරාන්ලව ජාත්‍යන්තර වශයෙන් කවුරු හෝ මෙහෙයවූවා කියලා ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" සහරාන්ලා බෝමබ ගැහුවට පස්සේ IS නායකයා සහ තව ප්‍රකාශකයෙක් ලංකාවෙ සිදුවුණ ප්‍රහාරයේ වගකීම භාරගන්නවා කියලා නිවේදනය කරලා තිබුණා. ඒ නිසා සහරාන්ලට ජාත්‍යන්තර සහයක් තිබුණා කියන්න පුලුවන්. සහරාන්ලගේ සංවිධානය අපි විනාශ කළත් ලෝකෙ තවමත් IS ක්‍රියා වාර්තාවෙන නිසා මේ සිද්ධිය මෙතනින් ඉවරයි කියලා හිතන්න බැහැ. "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ඔබතුමා දැනගෙනද හිටියේ සහරාන්ලාගේ ජාතික තව්හිද් ජමාත් එකට බාහිරින් IS මතවාදය දරණ තවත් කණ්ඩායම් ක්‍රියාත්මක වුණා කියලා ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" ඔව් මම දැන සිටියා. මට බුද්ධි අංශ ඒ ගැන වාර්තා ඉදිරිපත් කළා."


මෙහිදී මේ වනවිටත් කොමිසමට ඉදිරිපත්ව ඇති තාක්ෂණික සාක්ෂියක් සභාවේ අවධානයට රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විසින් යොමුකළා.


එහි සඳහන් වූයේ " Akhi, did anyone start fighting before us ? " ලෙස පාස්කු ප්‍රහාරයට පසු වෙනත් අන්තවාදී දෙපිරිසක් අතර හුවමාරු වූ කෙටි පණිවිඩයක්. 


එම පණිවිඩය පෙන්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසුවේ සහරාන් හෂීම්ට පෙර එම අන්තවාදී මතයම අනුව යමින් තවත් පිරිස් ක්‍රියාත්මක වී ඇති බව මෙයින් පෙනී යන්නේද බවයි.


එහිදී " එහෙමයි ස්වාමීනි " යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරියගේ විමසීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිචාර දැක්වූවා.


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" මේ කාරණය මම ජනාධිපති වුණාට පස්සෙ ඇති වුණ තත්ත්වයක් නෙවෙයි ස්වාමීනි. මේක අවුරුදු 70ක විතර ඉදන් එන සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව අතර ඇති ගැටුමක්. අපි වගේ පුංචි රටක මේ වගේ ඇතිවෙන ගැටුම්වලදී දේශපාලකයන් දෙන නායකත්වය නිසා බෙදීම් ඇතිවෙනවා. ඒක බොහොම හොදින් පේනවා මේ සංවිධාන දිහා බැලුවම. අන්තර්ජාතික වශයෙන් IS සංවිධානයත් ඔය අතරේ අපේ රටට රිංගුවා මට පේන විදියට. ඒ අය අපේ රටේ බෙදීම්වලින් ප්‍රයෝජන ගත්තා. ජාතික ආරක්ෂක කවුන්සලයේ, ඇමති මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා අපි අතර මොන තරම් ගැටලු තිබුණත් මේ කටයුතුවලදි අපි එකට කටයුතු කරලා පියවර ගත්තා. මං උතුරු නැගෙනහිර වෙනුවෙන් වෙනම ජනාධිපති කාර්‍ය සාධක බලකායක් දාලා හිටං මේවට පිළියම් හෙව්වා. J.R. මහත්තයා වුණත් යුද්ධෙදි ගන්න පුලුවන් පියවර ගත්තට නවත්තගන්න බැරි වුණානේ. දැන් මේ සහරාන්ගෙ සිද්ධිය ගත්තම වරෙන්තු නිකුත් වුණෙත් ඒ අයගේ සංවිධාන අතරම ඇතිවුණ ගැටුම් නිසා. ආරක්ෂක අමාත්‍යාංශය විදියට අපි මොන තරම් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවාද ? ඩී. එස්. සේනානායක මහතත්තයගෙ ඉදලා සතුටින් ආණ්ඩු කරපු එක රජයක්වත් නැහැ. මාත් මගේ ධූර කාලය තුළ බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. මම මේ රටට ආදරේ කරන මිනිහෙක්. මං මේ ඇග බේරගන්න හදනවා නෙවෙයි. 2015 ඉදන් 2019 අප්‍රේල් වෙනකල් මේ හැමදෙයක්ම ආරක්ෂක කවුන්සිලයේ කතා කළා. ඒ අවශ්‍ය උපදෙස් දුන්නත් ඉහළ ඉදන් පහළට සහ පහළ ඉදන් ඉහළට මේ දේවල් හරිහැටි ක්‍රියාත්මක වුණානම් මෙහෙම වෙන්නෙ නැහැ. මට පුලුවන් උපරිමයෙන් කටයුතු කළා. "


ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු - 

" ඔය විදියට උපදෙස් දීලා ඒවා නොවුන එකට කවුද වගකියන්න ඕනේ ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" මගේ මතය අනුව තොරතුරු ලැබුණු සියලු දෙනා වගකීම් ඉටුනොකිරීම ගැන වගකියන්න ඕනෙ "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ දී ඊට සම්බන්ධ 4 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් ඔවුන් ඒ සිද්ධියෙන් මාස තුනක් යන්නත් කලින් නිදහස් වුණා. ඒ වගේම ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත්ත කෙනෙක් මේ වෙද්දිත් බන්ධනාගාරයේ ඉන්නවා. මොකක්ද මේ ඉස්ලාම් අන්තවාදයට අනුව ගත් අයව නිදහස් වෙන්නත් අනිත් කෙනා තාමත් බන්ධනාගාරයේ රඳවා ගන්නත් වෙනස් හේතු..?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" එහෙම දෙයක් වුණානම් ස්වාමීනි ඒ නිදහස් කරන්න නිර්දේශ කරපු කෙනා තමයි වගකියන්න ඕනේ. "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඒ වනාතවිල්ලුවේ සිවුදෙනාගෙන් තිදෙනෙක් කොන්දේසි මත නිදහස් කරන්න අත්සන යොදලා තියෙන්නේ ඔබතුමා.."


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" කඩදාසි හදන් ආවම අත්සන් කරනවා. CID එක ඔය වගේ ලිපි ගොඩවල් ගණනාවක් අරන් එනවා. නමුත් ඒ නිලධාරින් ගැන තිබෙන විශ්වාසයට අත්සන් යොදනවා එච්චර ලිපි ගොඩක් බල බල ඉන්න බැරි නිසා ස්වාමීනි "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" මීට පෙර දිනයේ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කිව්වා මේ ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම සාමුහිකව භාරගන්න ඕනේ කියලා. ඒ ප්‍රකාශය ගැන ඔබේ මතය මොකක්ද ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" මේක වළක්වාගන්න තිබුණ ප්‍රහාරයක්. ඒ වගකීම එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි විශාල පිරිසක් අතරේ බෙදී යනවා. ඒ අයයි ඒ වගකීම භාර ගන්න ඕනෙ "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" නමුත් 2019.04.21 ස්ථාන 8ක බෝම්බ පිපිරිලා, පල්ලි ගිය බැතිමතුන් සිය ගාණක් ජීවිතක්ෂයට පත්වෙලා, හෝටල්වල පාත රසය විඳිමින් සිටි සිය ගාණකට ජීවිත නැති වුණා. බෝම්බ ගහනකල් නීතිය හා සාමය මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වුණේ ඔබතුමා. ජනාධිපති විදියට ඔබ උපදෙස් දීලා තිබුණානම් කොහොමද මැතිතුමනි ඉස්ලාම් අන්තවාදය හිසඔසවලා මේවට කිසිම දායකත්වයක් නොදක්වපු අර අහිංසක මිනිස්සු මේකට බිලිවුණේ ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" එහෙනම් ඉතින් ස්වාමීනි රටේ ජනාධිපති විතරයි ඉන්න ඕනේ. පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිලා, ප්‍රාදේශීය පොලිස් නිලධාරින් කවුරුත්ම ඕනේ නැහැ. මේ තොරතුරු ගැන පරීක්ෂණ කරන්න ඉහළින් උපදෙස් දෙනකල් ඉන්න ඔනේ නැහැ... නිලධාරින් ඒවා හොයල බලල කරන්න ඕනෙ ඒක එයාලගෙ වගකීම. අපි ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් ඕන තරම් දීලා තියෙනවා "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ඔබතුමා යම් අවස්ථාවක පොලිස්පතිව ජාතික ආරක්ෂක කවුන්සිලයට නොකැඳවන්න තීරණය කළාද ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" ඔව් සමහර අවස්ථාවල. එක වෙලාවක CID නිශාන්ත සිල්වා මාරුකරන්න කියපු අවස්ථවේ මේක ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා කළ පිරිදි කියලා පොලිස් කොමිසමට ලියලා තිබුණා. ඒක වැරැද්දක් එහෙම යොදපු එක. ඊළඟට ආරක්ෂක කවුන්සිලයට ආවට කිසි දෙයක් අහන් ඉන්නේ නැ, සටහන් දාගන්නෙ නැහැ. ඒ නිසා එන්න එපා කියලා ඔහු වෙනුවට CID එකේ රවී සෙනෙවිරත්න ගෙන්නුවා. පූජිත් තනතුරට නොගැලපෙන වැඩ කළේ එකපාරක් දෙපාරක් නෙවෙයි නිසා රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමාගේ කාලේ විනය පරීක්ෂණත් කළා. 2018 අගභාගය වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා සහ කරූ ජයසූරිය මහත්මයා සමග සාකච්ඡා කරලා පූජිත් ජයසුන්දරව ඉවත් කරන්නත් අපි සූදානම් වුණා. නමුත් ඉතින් මට පූජිත් එක්ක පෞද්ගලික තරහක්නම් තිබුණේ නැහැ. එතුමා මාව හම්බෙන්න සතියට දෙපාරක්වත් ඇවිත් යනවා කෝල් ගන්නවා."


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ඔබ කිව්වා නිශාන්ත සිල්වා මාරුකිරීම ගැන. ඔබ එහෙම නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා පසු අවස්ථාවක යළිත් කිව්වද කාගෙන් අහලද මාරු කළේ කියලා ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" දැන් ඔය නිශාන්ත සිල්වා අදටත් ලංකාවෙ නැහැනෙ පැනලා ගිහින් ඉන්නෙ. එයා තමයි ඔය යුධ හමුදා නිලධාරින් අත්අඩංගුවට ගත්ත කෙනා. ඒ ගැන ආපු පැමිණිලි නිසා තමයි නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කෙරුණේ. නමුත්‍ ඒකට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ ගොඩක් අය විරුද්ධ වුණා ඉතා දැඩිව. NGO පවා අධිකරණයට යන්න හැදුවා. පස්සෙ තමයි මම කිව්වේ ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න කියලා. ඊටපස්සෙ තමයි නිශාන්ත සිල්වාව ආයෙත් CID එකට මාරුකළේ. ජාත්‍යන්තර NGO තමයි ඔය නිශාන්ත සිල්වා පසුපස හිටියේ. අපි LTTE එක පරාජය කළාට ජාත්‍යන්තරයේ තාම තියෙනවා. ඒ අයගේ NGO තමයි මේ නිශාන්තලව පාලනය කළේ. "


අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ඔබ තව අවස්ථාවක ප්‍රහාරය සිදුවුණාට පස්සෙ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ගෙන්නලා කිව්වද මේකෙ වගකීම භාර අරන් ඉවත් වුණොත් කැමති රටක තානාපති කමක් දෙන්නම් කියලා ?"



හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" ඒක සම්පූර්ණයෙන් බොරුවක්. තානාපති කමක් දෙන්නම් කිව්වා පූජිත් අර නුවර පෙරහැරේ නටපු වෙලාවෙ. එතකොට මම කිවවා ඉවත් වෙලා යන්න මම වෙන පොලිස්පති කෙනෙක් පත්කරගන්නම් කියලා. "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" අප්‍රේල් 4 වෙනිදා සිට ඔබ විදෙස් ගත වූ 16 දක්වා ඔබේ පැජට් පාරෙ දුරකතනයට නිලන්ත ජයවර්ධන මහතා අවස්ථා ගණනාවක සම්බන්ධ වෙලා ඔබතුමා එක්ක කතාකරලා තිබුණා. ඒ එක අවස්ථාවක හරි ඔබට මෙම ප්‍රහාරය ගැන දැනුම්දුන්නද ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" නෑ කිසිම අවස්ථාවක කිව්වේ නැහැ. ඒක විශාල අතපසු වීමක්."


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" ප්‍රහාරයෙන් පසු ඔබ ඇහුවෙ නැත්ද නිලන්ත ජයවර්ධන මහත්මයාගෙන් ඇයි මට මේක කලින් නොකිව්වේ කියලා ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" මම අප්‍රේල් 22 ආරක්ෂක කවුන්සිලය ඉවරවෙලා යන ගමන් ඇහුවා. එතකොට කිව්වා මේ ගැන සිසිර මෙන්ඩිස් ඇතුළු අනිත් අයට කිව්වා කියලා. ඔවුන් මට කියයි කියලා නිලන්ත හිතන් ඉදලා තියෙන්නෙ. "


රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය - 

" මේ ප්‍රහාරය ගැන දැනගෙනයි ඔබ රටින් පිටවුණේ කියලා මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබතුමා එය පිළිගන්නවාද ?"


හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන - 

" කිසිසේත්ම නැහැ ස්වාමීනි ඒක අසත්‍යයක්. ඒ තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නැහැ. මේක කවුරුන් හෝ ගොතපු කතාවක්"


අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 17 වෙනිශා පෙරවරුව තෙක් කල් තැබුණා.

No comments

Powered by Blogger.