තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන්ගෙන් පෙත්සමක්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.


එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා.


පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය දිනයේ අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවයි.


අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තමා අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවයි පෙත්සම්කරු පවසන්නේ.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තුවක් ලබා ගැනීමට ඉල්ලීම් කළද මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇතැයි රිෂාඩ් බදියුදීන් මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.


පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි.


 අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන් වූවන් පිළිබඳව නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රතිපාදන යොදා ගනිමින් යැයි ඔහු පෙන්වා දෙනවා.


මෙම අවතැන් වූ ඡන්ද දායකයින් ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට ලංගම බස් රථ වලින් රැගෙන යාම සඳහා තමා 2019 වසරේ නොවැම්බර් මස 15 වනදා එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අනුමැතිය ඉල්ලා සිටි බව පවසන පෙත්සම්කාර බදුර්දීන් මහතා එවක මුදල් අමාත්‍යවරයා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදුන් බවද පවසනවා.


ඒ අනුව අදාළ ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුණේ මුදල් අමාත්‍යාංශයෙන්  ලද අනුමැතිය මත යැයි පවසන රිෂාඩ් බදුයුදීන් මහතා ඒ අනුව එම ක්‍රියාව තුළ කිසිදු නීති විරෝධී වරදක් උද්ගත වී නොමැති බවයි පෙන්වා දෙන්නේ.


ඒ අනුව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි තමා වෙත චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසනවා.


ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සහ රිට්ආඥාවක් නිකුත් කරන ලෙසද ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


No comments

Powered by Blogger.