මෙරටදී දිනකට සිදුකරන PCR පරීක්ෂණ ගනන 10,000කට ආසන්න වෙයි




මේ වන විට දිනකට සිදුකරන PCR පරීක්ෂණ වාර්තා ගත මට්ටමකට පැමිණ ඇති අතර 10,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය ) වෛද්‍ය හේමන්ත හේරත්  මහතා  පවසනවා.


නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ නවදහස් අටසිය ගණනක් සිදුකර තිබූ බවයි හේරත් මහතා සඳහන් කරන්නේ. 

ඉදිරියේදී මීට වඩා එම පරීක්ෂණ සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බව ද හෙතෙම කියාසිටිනවා. 


මේ වන විට ආසාදිතයින් පැතිරී සිටියද පාලනයකට නතුව තිබෙන බවයි හේරත් මහතා පෙන්වාදෙන්නේ. 


වැඩි දුරටත් අදහස් දැක් වූ ඒ මහතා


"මතුගමදී රෝගීන් හමුවුණෙත් අපි ආසාදිතයින් හඹා යාමේ ප්‍රතිඵලයක් ලෙසයි

තෝරාගත් ප්‍රදේශවල සංචරණය සීමා කළේ ප්‍රදේශයේම ජනතාව ආවරණය කරගැනීමට. උපරිම ලෙස පාලනය කිරීම සඳහා තමයි එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ.  උසස් පෙළ විභාගය අතරතුර ලක්ෂ ගණනක් සිසුන් අතරින් කිහිපදෙනෙකුට හෝ වෛරසය ආසාදනය වේ යැයි යන බලාපොරොත්තුවෙන් ඊට පෙර සූදානමක් ලෙස එලෙස හඳුනා ගන්නා ශිෂ්‍යයින්ට අපහසුවකින් තොරව විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් සූදානමින් සිටියා. 


අතිරේක විභාග මධ්‍යස්ථාන පවා සූදානම් කරලයි තිබුණේ.  මෙතන වෙන්නේ විභාගය පැවැත්වීම නිසා ශිෂ්‍යයින් රෝගීන් වීම නෙවෙයි පෙර හඳුනා ගත් ආශ්‍රිතයින් හරහා තමයි ඔවුන්ටත් ආසාදනය වෙන්නේ.  එහෙත් බාධාවකින් තොරව විභාගය පවත්වා ගෙන යාමට අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා.  තාවකාලිකව වසා දමා තිබුණු රාජ්‍ය ආයතන අද සිට යළි විවෘත වෙනවා. යළි කාර්ය බහුල තත්ත්වයන් ඇතිවන හෙයින් ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ජනතාවත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් කාර්යාල වෙත යන්න.  යම්කිසි ගොඩනැගිල්ලක් තුළ සිටින පිරිස අවම කරගැනීමෙන් අභ්‍යන්තර දුරස්ථභාවය ආරක්ෂා කරගැනීමට හැකියි."


No comments

Powered by Blogger.