ශිෂ්‍යත්ව විභාගයේ මෙවර 200 ලබාගත් සිසුන් 10 දෙනාගේ විස්තර



ප්‍රතිඵල නිකුත් වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු සංඛ්‍යාව වන 200 ලබාගත් සිසුන් 10 දෙනෙකු දිවයිනෙන් වාර්තා වනවා.


ඒ අනුව ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය, ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය, රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා ලකුණු 200 ලබාගත් සිසුන්ට අයත්.


මේ අතර මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර් , දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත යන දරුවන් ද මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.


එසේම, තවත් සිසුන් 06 දෙනෙකුද ලකුණු 200 ලබාගත් සිසුන් අතර වනවා.


මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්.


ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර, පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා කඩඉම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබුවා.


පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුවයි.


ඒ සඳහා සිසුන් තුන් ලක්ෂ 31,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් තුන් ලක්ෂ 26,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.


ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර හිමි වනවා.


ඒ අතරින් ශිෂ්‍යාධාර 250 ක් වෙන් කෙරෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහායී.


මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 169 ක් ලෙස සටහන් වනවා.


රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 165 ක් වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 164 ක් ලෙසයි.


පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 163 ක්.


මොණරාගල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 162 ක් ලෙස සටහන් වන අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 161 ක්.


මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 157 ක්.


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අදාළ පාසල්වලට බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරියේදී තැපැල් කර එවීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

No comments

Powered by Blogger.