බැසිල්ගේ දිවිනැගුම නඩුවේ තීන්දුව 30 වන දා



2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් වැය කර දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 30 දා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා. 


මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.


මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්ති වාචකය  නොකැඳවා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉකුත්දා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ලිඛිත දේශන භරදී තිබුණා


මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින්  පැමිණිලි පාර්ශ්වයේ ලිඛිත දේශන ද අධිකරණයට බාර දුන්නා.


ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන තීරණය මේ මස 30 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.


එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරු නම් කර තිබුණා.

No comments

Powered by Blogger.