හිටපු ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

 


අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්. කේ මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කළා.


සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.


තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් රැසක් හමුවී ඇති බවත් සිය සේවාදායකයාට හෘද රෝගියෙකු වන හෙයින්  ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර අධිකරණය කරුණු දක්වා  තිබුණා.


එය සුවිශේෂී කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසයි එම නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.


එහෙත් විත්තිකරු තමන්ට නියම වී ඇති සිර දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන තවත් එය ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතව තිබෙන බවත් තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.


ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරු මඩුල්ල මඩුල්ල සඳහන් කළේ.


ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ වරදකරු කළ එහි පලමු වන විත්තිකරු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි .එච්. කේ .මහනාම මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් 65000/- ක දඩයක් ද නියම කර තිබුණි.



එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එය අහෝසි කරන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකාර මහානාම මහතා විසින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.


එම අභියාචනය විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් ඇප මත උදාහරණ ලෙස ඉල්ලමින්  මහනාම මහතා විසින් මෙම ඇප ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කර තිබුණා.


No comments

Powered by Blogger.