මුස්ලිම් ලීගයෙන් ලද රු.මිලියන 920 ගැන විජේදාස ජනාධිපති ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

 2019 අපේ‍්‍රල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්ට මුස්ලිම් ලෝක ලීගය විසින් රුපියල් මිලියන 920 ක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ හා තුවාල ලැබූවන්ගේ සුභසාධනය සඳහා එම පරිත්‍යාගයේ මුදල් ලැබී ඇති බැවින් එයට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීම අවශ්‍ය බව ආචාර්ය රාජපක්ෂ මහතා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඔහු මෙම ලිපිය නොවැම්බර් 27 වන දින ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති අතර එහි පිටපත් ජනාධිපති, අගමැති සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් වෙතද යවා ඇත.

2019 ජූලි මාසයේදී මුස්ලිම් ලෝක ලීගය විසින් ‘ජාතික සාම සමුළුව’ යන නමින් යටතේ කොළඹ නෙළුම් පොකුනා රඟහලේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදි.

සමුළුවට සහභාගී වූ මුස්ලිම් ලෝක ලීගයේ ලේකම් ආචාර්ය මුහම්මද් බින් අබ්දුල් කරීම් ඊසා විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්ට සහ තුවාල ලැබූවන්ගේ සුභසාධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කර ඇති බවට මාධ්‍ය විසින් වාර්තා කර ඇති බව ආචාර්ය රාජපක්ෂ මහතා ලිපියේ පෙන්වා දී තිබේ.

මෙම සමුළුවට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සහභාගී වූ බව එම ලිපියේ සඳහන් වේ.




No comments

Powered by Blogger.