ධම්මික බණ්ඩාරගේ පැණිය බෙදා දීම තාවකාලිකව අත්හිටුවයි - සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කර ඇද්දැයි සොයා බැලීමට පරීක්ෂණයක්



කොරෝනා වෛරසය මැඬ පැවැත්විය හැකි බවට ප්‍රකාශ කළ දේශීය ඖෂධය ජනතාව අතර බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


ධම්මික බණ්ඩාර නැමති පුද්ගලයෙකු මෙම ඖෂධය සොයාගෙන තිබූ අතර, ඊයේ එය කෑගල්ල - උඩුමාගම කාලි දේවාල පරිශ්‍රයේදී නොමිලේ බෙදා හැරීම සිදුකළා.


එම ඖෂධය ලබාගැනීම සඳහා නිරෝධායන නීති කඩකරමින් විශාල පිරිසක් කෑගල්ල ප්‍රදේශයට පැමිණ සිටින අයුරු ඊයේ දක්නට ලැබුණා. ඒ අතර ත්‍රිවිධ හමුදාවේ පිරිසක්ද එක්ව සිටියා.


සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩ කරමින් මෙම කටයුත්ත සිදු කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ ප්‍රකාශ කළේ.


පැවති තත්ත්වයත් සමඟ මෙම ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර සහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුවයි එම ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.


කෙසේ වෙතත්, ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර කියා සිටියේ එය තවදුරටත් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බැවින් බෙදා හැරීම තාවකාලිකව අත්හිට වූ බවයි.


එම ඖෂධයෙන් කොරෝනා ආසාදනය වූවන් සුව වන බවට ඖෂධය නිපද වූ තැනැත්තා ප්‍රකාශ කළ ද මෙතෙක් එය වගකිව යුතු පාර්ශව විසින් විද්‍යාත්මක සනාථ කර නැහැ.


මෙම ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් ද පත් කර ඇති අතර, එහි ප්‍රතිඵලය මෙතෙක් ලබාදී නැහැ.

No comments

Powered by Blogger.