සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කරුණු රැසක් අනාවරණය කරයි



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින් කණ්ඩායමේ සිටි කටුවාපිය සාන්ට සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ප්‍රහාරකයාගේ බිරිද වන මේ වන විට අතුරුදහන්ව සිටින පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සිටින ස්ථානයක් තමා නොදන්නා බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් පවසනවා.


පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ කටුවාපිටිය ප්‍රහාරක හස්තුන් සහ සාරා ජෙස්මින් අතර විවාහය තමන් සිදුකළද, සාරා මේ වන විට රැදී සිටින ස්ථානයක් තමා නොදන්නා බවයි.


පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම ඊයේ දෙවන දිනටත් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ගෙන් සාක්ෂි විමසනු ලැබුවා.


එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ ඔබට බලයක් තියෙනවාද කෙනෙකුගේ ආගම වෙනස් කිරීම සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න යන්නයි.


" ස්වාමිනි, ඉස්ලාමය වැළදගන්නවා කියන එක, ඒකට කැමැත්තක් සහ ප්‍රතිපත්ති පිළිබද අවබෝධයක් තියෙනවානම් පැය භාගයකින් වගේ කරන්න පුළුවන්. දෙදෙනෙකු ඉස්සරහා පඨයක් කියවීම පමණයි අවශ්‍ය. ඉතිං අපි සාම්ප්‍රදායිකව එසේ කැමැත්ත ප්‍රකාශ කරන අයව ඉස්ලාමයට ඇතුළත් කර ගැනීම සිදු කළා. කෙනෙක්ගේ නම වෙනස් කරපුවාම පත්තරේ දැන්වීමක් දාන්න ඕනේ. ඒකට අදාළ ආගමික ආයතනයෙන්, සංවිධානයෙන් සහතිකයක් ඕනේ. ඉතිං අපි ඒ සහතිකයත් නිකුත් කළා. අපි ඒ වගේ ඇතුළත් කර ගැනීම් සිය ගණනක් කරලා තියෙනවා " යැයි අබ්දුල් රාසික් පිළිතුරු දුන්නා.


මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔබ හස්තුන් නැමැත්තාව සහ ඔහුගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ව දන්නවාදැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියා.


" ඔව්, 2015 අගෝස්තු 04 වෙනිදා ඔවුන් දෙදෙනා මාලිගාවත්තේ පිහිටි ශ්‍රී ලංකා තවුහිද් ජමාත් ප්‍රධාන කාර්යාලයට ආවා. හස්තුන් සමග එකට අධ්‍යාපනය කළ කෙනෙක් ලෙස සාරාව ඔහු හදුන්වා දුන්නා. ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලත් කිව්වා. සාරා ජෙස්මින් ඉස්ලාමය වැළදගැනීමට කැමති ඇයව ඉස්ලාමයට හැරවිය හැකිදැයි ඉල්ලීමකුත් කළා. " යැයි අබ්දුල් රාසික් පැවසුවා.


එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙලෙස විමසුවා.


" සාක්ෂිකරු ඔබ මේ කොමිසම හමුවේ සාක්ෂි දෙන්නේ දිව්රුම් පිට. ඒ නිසා කරුණාකර ඇත්ත කියන්න. ඔබ ඔවුන් දෙදෙනාම එකට ආවයි කිව්වට කොමිසම හමුවේ දැනට සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හස්තුන් ඒ වෙද්දිත් ඔබේ කාර්යාලයේ හිටියේ. සාරා ජෙස්මින් විතරයි තනියම ආවේ කියලා " 

එයට පිළිතුරු දෙමින් අබ්දුල් රාසික් කියා සිටියේ " නැහැ ස්වාමිනි, හස්තුන්ගේ ගම ඔට්ටමාවඩි, සාරාගේ ගම කලවන්චිකුඩි ඔවුන් දෙදෙනාම එකට ආවේ. " යන්නයි.


එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ, " සාක්ෂිකරු ඔබ දැන් ඔය කියන විදිහට ඉස්ලාමයට හරවා ගැනීම පාඨයක් කීමෙන් පමණක් කරන්න පුළුවන්නම් ඇයි ඔවුන් දෙදෙනා ඔට්ටමාවඩි වල ඉදලා හැතැම්ම 300 ගාණක් ගෙවාගෙන ඔබගේ සංවිධානය සොයාගෙනම ආවේ. ඔවුන්ට මුස්ලීම් ජනතාව බහුලව ගැවසෙන නැගෙනහිර පළාතෙන් ඔය කාර්යය කරගන්න තිබ්බානේ " යනුවෙන්.


" ස්වාමිනි අපි ඉස්ලාමය වැළදගත්තු අයගේ ඡයාරූප ඉස්ලාමයේ දානවා ඉතින් ඔවුන් අපේ සංවිධානය ගැන දැනගෙන ආවේ " යැයි සාක්ෂිකරු එහිදි පැවසුවා.


එහිදි රජයේ අධිනීතිඥවරයා විමසුවේ සාරා ජෙස්මින්ගේ භාරකරුවන් පිළිබද ඔබ විමසීමක් කළේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ " ස්වාමිනි, පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ඇයගේ භාරකාරිත්වය අපගේ සංවිධානයට ගන්න කිව්වා. නමුත් අපේ සංවිධානයට එහෙම කාන්තාවකගේ භාරකාරිත්වය ගන්න බැහැ. ඉතිං මම සාරාගේ මවගේ සහෝදරයාට කතා කරලා මේ පිළිබදව දැනුම් දුන්නා. පසුදිනයේ ඒ කියන්නේ 2015 අගෝස්තු 04 සාරාගේ මව සහ ඥාතීන් ආවා අපේ මුලස්ථානයට ඇවිත් ඇයව එක්කන් යන්න ඕනේ කිව්වා. නමුත් සාරා ඒකට කැමති වුනේ නැහැ. පස්සේ මේ ප්‍රශ්නය විසදන්න අපි මාලිගාවත්තේ පොලිසියට ගියා. එහිදි සාරාව දවස් 05 කට පමණක් නිවසට එක්කන් යන්න මවට අවසරය දුන්නා. " යන්නයි.


" එහෙම එක්කන් ගියාට පස්සේ දවස් 05 කින් සාරාව නැවත අම්මා ගෙනාවේ නැති වුනාට ඔබ සාරාගේ අම්මට හෝ සහෝදරයාට කතා කරලා බලපෑම් කළාදැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙහිදි ප්‍රශ්න කළා.


" නැහැ ස්වාමිනි, මම එහෙම බලපෑම් කළේ නැහැ. මට ඒ ගැන මතකයක් නැහැ. නමුත් කොමිසම ඉදිරියේ තියෙන සාක්ෂි වල කියවෙනවානම් මම කතා කළා කියලා. මම කතා කරලා ඇයි දවස් 05 කින් ඇයි ගෙනාවේ නැත්තේ විමසුවා වෙන්න පුළුවන්. " යැයි අබ්දුල් රාසික් පැවසුවා.


ඔහු වැඩිදුරටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ,


" පස්සේ සැප්තැම්බර් මාසේ 24 වෙනිදා ඔවුන් නැවතත් ආවා. ඔවුන් දෙදෙනාට විවාහ වෙන්න අවශ්‍යයි කිව්වා. නිවසට කතා කරපුවාම විවාහය කරන්න එපා කිව්වා. නමුත් ඒ වෙද්දි හස්තුන්ට වයස අවුරුදු 21 ක්, සාරාට වයස අවුරුදු 18 ක් ඒ නිසා ඔවුන්ගේ කැමැත්ත මත විවාහය කළා. මම භාරකරු වුණා." යැයි අබ්දුල් රාසික් පැවසුවා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ මෙම සිදුවීම් වලින් පසු කිසියම් අවස්ථාවක සාරාගේ මව ඔබට යළි ඇමතුමක් ලබා දුන්නේද යන්නයි.


" 2019 පෙබරවාරි අන්තීමට හෝ මාර්තු මුල නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා. සාරාගේ අම්මා කවිදා උම්මා ඇහැව්වා සාරා එයාලත් එක්ක නැහැ මම දන්නවාද කියලා. මම කිව්වා 2015 දෙසැම්බර් 31 න් පස්සේ අපි සමග සම්බන්ධතාවයක් තිබුනේ නැහැ කියලා. එතනදි සාරාගේ අම්මා කිව්වා අන්තීමටම සාරා නාරම්මල ප්‍රදේශයේ ඉදලා කතා කළා. නිවසක් ගන්න මුදල් ඉල්ලුවා. ලක්ෂ 15 ක් විතර එකතු කරගෙන හිටියට ආයේ කතා කළේ නැහැ කියලා. පස්සේ මම කවිදා උම්මාගෙන් සාරාගේ ඡායාරූප ඉල්ලගෙන මම දන්න ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක්ට දිලා කිව්වා මැය අතුරුදහන් වෙලා ඉන්නේ සොයා දෙන්න කියලා. නමුත් තොරතුරක් හම්බුනේ නැහැ. පස්සේ 2016 ජනවාරි වගේ අපේ සංවිධානයට සාරා ජෙස්මින් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් එවලා තිබ්බා. එකේ සදහන් වෙලා තිබ්බා සාරා හස්තුන්ගෙන් සහ ඉස්ලාම් ධර්මයෙන් ඈත් වුණා. ඇය ඒ ගැන කල්මුනේ පොලිසියට පැමිණිල්ලකුත් කලා කියලා." යැයි අබ්දුල් රාසික් වැඩිදුරටත් සාක්ෂි දුන්නා.


මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාරා ජෙස්මින් මේ වන විට සිටින ස්ථානය ඔබ දන්නේදැයි විමසීමක් කළද අබ්දුල් රාසික් එයට නැහැ යනුවෙන් පිළිතුරු දුන්නා.


එසේම මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඔබ හස්තුන් මාර්ගයෙන් සහරාන් හෂීම්ව දැන සිටියේද, කෙදිනක හෝ සහාරාන් හෂීම් සමග එකම සංවිධානයක වැඩ කළේදැයි විමසා සිටි අතර එයට අබ්දුල් රාසික් පිළිතුරු දුන්නේ තමා කිසිම දිනක සහාරාන් හෂිම් හදුනාගෙන සිටියේ නැති බවයි.


No comments

Powered by Blogger.