වන සංරක්ෂණ චක්‍ර ලේඛ අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි



රක්ෂිත නොවන  වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා


පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින්  ගොනු කළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුනා.


එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වාදුන්නේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහනය ප්‍රදානය කිරීම පිළිබඳව සලකා බැලීමේදී වගඋත්තරකරුවන්ගේ ද ස්ථාවරය විමසීම අවශ්‍ය බවයි.


ඒ අනුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 13 වන දා සිදු කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නැවත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.


මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක්කර තිබෙන  චක්‍රලේඛ හේතුවෙන් සමස්ත වනාන්තර පද්ධතියෙන් සියයට 25 ක් පමණ හෙළි පෙහෙළි කිරීමේ අවදානමක් මතු වී ඇති බවයි.


එම නිසා මෙම පෙත්සම කඩිනමින් සලකා බලන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.


එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පස් දෙනෙකු නම් කර තිබෙනවා.


පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ වගඋත්තර කරුවන් විසින් නිකුත් කළ  "2020 /1/එම්.ඩබ්ලිව්.එෆ්.සී ”  දරණ  චක්‍රලේඛය මඟින්  නොවැම්බර් 04 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි  සංරක්ෂිත නොවන වනාන්තර ගැන තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබෙන බවයි.


ඒ අනුව මෙම වනාන්තර වලට වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධාන මඟින් ලැබී තිබූ ආරක්ෂාව මෙම චක්‍රලේඛය මඟින් ඉවත් වී තිබෙන බවද එම සංවිධානය චෝදනා කළා.


මෙම නව චක්‍රලේඛය ක්‍රියාත්මක කළහොත් එම වනාන්තර වලට බරපතල හානිදායක තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවද පෙත්සම්කරු සංවිධානය අනතුරු අගවා සිටියා.


එබැවින් අදාළ චක්‍රලේඛය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

No comments

Powered by Blogger.