පාස්කු ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කරුනු රැසක් හෙළිකරයි



මෙරටේ ජනාධිපතිවරු බිහි කිරීම හා ආණ්ඩු බිහිකිරීම 2015 සිට විදේශ බලපෑම් මත සිදුවූ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාස්කු ජනාධිපති කොමිසමට සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර එවකට බලයේ සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ඉවත් කර නව ජනාධිපතිවරයකුට ඉඩ සැලසුවේ කාගේ වුවමනාවක් මතද යන්න ගැටලුවක් බවයි. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඊයේ සවස කැඳවා තිබුණේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතායි.


පාස්කු ප්‍රහාරයට පසු හෙට්ටිපොළ ඇති වූ පශ්චාත් නොසන්සුන්තා සම්බන්ධයෙන් විමසීම සඳහායි දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබුණේ.


පසුගිය වසරේ මැයි 13 වෙනි දින බිංගිරිය කිණියම ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිසක් අතරින් සැකකරුවන් 6 දෙනෙකු බිංගිරියේ සිට හෙට්ටිපොළ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමත් සමඟ එම ප්‍රදේශයේ ද නොසන්සුන්තා උද්ගත වී තිබුණා.


එම අවස්ථාවේ දී එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ දයාසිරි ජයසේකර මහතා එම ස්ථානයට පැමිණ සැකකරුවන් සිය ජිප් රථයෙන්ම ඇප ලබාගැනීමට රැගෙන යන ආකාරය දැකගත හැකි වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා.


එම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ අධිනීතිඥවරයා සාක්ෂිකාර දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" එදින මගේ කාර්‍යාලයේ මහජන දිනය. තරුණයන් පිරිසක් ඇවිත් කිව්වා නගරයේ කලබලයක් කියලා. පසුව මං දවල් 12ට විතර හෙට්ටිපොළ පොලිසියට ගියා. එතනදි  ස්ථානාධිපතිවරයා කිව්වා මේ සැකකරුවන් බිංගිරියෙන් අරන් ඇවිත් තියෙන්නේ. මේ සැකකරුවන්ට ඇප ලබාදෙන්න රැස්වීමකදී තීරණය වෙලා තිබුණා බවත් ඒ රැස්වීමට එවකට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ඇවිත් ඇප ලබා දෙන කටයුතු ගැන කතාකරලා තියෙනවා කියලත් දැනගන්න ලැබුණා. දැන් ඇප ලබාදීමට ආයෙත් එහෙට අරන් යන්න ඔනේ.. නමුත් එළියේ කලබල නිසා යන්න බැහැ. මමත් හිතුවා මේ කලබලය අවසන් වෙන්නේ ඒ හයදෙනාව අරන් ගියොත් විතරයි කියලා. ඒ නිසා මම ආරක්ෂකයන් සමඟ මගේ වාහනයෙන් ඒ අයව රැගෙන යන්න සූදානම් වුණා. ඊටපස්සෙ පොලිස් ආරක්ෂාව සමඟ මගේ වාහනයෙන් ඔවුන්ව අරන් ගියා බිංගිරියට. "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඔබ දේශපාලකයෙක් වගේම නීතිඥවරයෙක් නේ.. සැකකරුවන්ට ඇප ලබාදෙන්න දේශපාලකයන් උපදෙස් දීමක් කළ යුතුයි ද ?"


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" බොහොම පැහැදිලිවම නැහැ ස්වාමීනි. නමුත් මම එලෙස සම්බන්ධ වුණේ නැහැ. "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" ඔබ යම් අවස්ථාවක මාධ්‍යයට සඳහන් කළා, පාස්කු ප්‍රහාරයට ටාජ් සමුද්‍ර හෝටලය සම්බන්ධ නොවුණේ යම් විශේෂ පිරිසක් එහි හිටපු නිසා කියලා. කවුද ඒ පිරිස.. මොකක්ද ඒ කාරණය..? "


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" ඒ හෝටලය යම් රටක ව්‍යාපාරිකයන්ට අයිති දෙයක්. බෝම්බකරු ඇවිත් බෝම්බ නොගහා ආපහු ගියා. ෂැංග්‍රිලා එකට දෙකක් ගහන්නයි, අනික් ඒවට එකක් ගහන්නයි, මේකට නොගහ යන්නයි හේතුවක් තියෙන්න ඕනේ.ඒ කාලේ කටකතාවක් ගියා ටාජ් එක ඇතුළේ යම් වැදගත් පිරිසක් හිටියා කියලා. ඒකයි මම එහෙම කිව්වේ. "


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" ඔබ ඇයි සඳහන් කර තිබුණේ සහරාන්ලා ජාත්‍යන්තරයට සම්බන්ධයි කියලා..?"


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" මම මේ කියන දෙය ඔබතුමන්ලාගේ වාර්තාවට බොහොම වැදගත් වෙයි. ඒකයි මම මෙතනදී මේක කියන්නෙ. කිසියම් සංවිධානයක නායකයාත් ඔහුවයි අනිත් උන්වයි ඔක්කොම මාරගෙන මැරුනෙ පළවෙනි වතාව මේක. යම් motive එකක් නැතුව එහෙම මැරෙනවා ද? ස්වාමීනි ඒවගේම.... එකපාරට නාමල් කුමාර කියන කෙනෙක් මතුවුණා. ඔහු කිව්වා බලයේ ඉන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි එන්න ඉන්න ජනාධිපතියි මරාදමන්න හැකියාවක් තියෙනවා කියලා. ඒකෙන් පස්සෙ හිටපු ජනපතිට ගෙදර යන්න වුණා ආයෙත් නොඉල්ලාම. මේ කාරණාව එක්ක බලනකොට කාටද වුවමනා වෙලා තිබුණේ හිටපු ජනපති ඉවත් කරලා තව ජනාධිපති කෙනෙක්ට ඉඩ සලස්වන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයේ ප්‍රශ්න තිබුණත් එතුමා ප්‍රසිද්ධියක් අරන් තිබුණා කුඩු ජාවාරම් බිඳහෙළන්න. ඒකත් කඩා වැටුණා. එතකොට පූජිත් ජයසුන්දර මහත්තයා කියනවා මේක විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ තොරතුරක් අපේ බුද්ධි අංශ හොයාගත්ත එකක් නෙවෙයි කියලා. ඒ විදෙස් බුද්ධි අංශ දන්නවා අපේ රටේ කොහෙටද ගහන්නේ, කීයටද ගහන්නේ, 8.45ට කොච්චිකඩේ පුපුරනවා, 8.50ට තව තැනක පුපුරනවා.. ඒ ඔක්කොම. මේ ඔක්කොමයි කලින් කියපු කරුණු ඔක්කොම හොදින්ම විශ්ලේෂණය කළාම තේරෙනවා ස්වාමීනි 'මේ රටේ ජනාධිපතිවරු බිහි කිරීම හා ආණ්ඩු බිහිකිරීම 2015 සිට විදේශ බලපෑම් මත සිදුවුණේ'. මේකේ සහරාන් වින්දිතයෙක් විතරයි. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ වින්දිතයන් විතරයි. පූජිත් ජයසුන්දර -  හේමසිරි ප්‍රනාන්දු වින්දිතයන් පමණයි. "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ඔබත් ඒ පැවති රජයේ 2015 සිට 2018 දක්වා කැබිනට් අමාත්‍යවරයෙක්නෙ... ඔබේ රජය ජාතික ආරක්ෂාවට දුන්නේ කොයිවගේ තැනක්ද ?"


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" ජාතික ආරක්ෂාව ඒ කාලයේ විශාල අර්බුද ගණනාවකට ලක්වුණා. ජනාධිපතිවරයාට ජිනීවා යෝජනාවලට අත්සන් කිරීම ප්‍රශ්නයක් වුණා. අභ්‍යන්තරයෙන් රණ්ඩු ඇතිවුණා. ඒක තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලු ගණනාවක් ඇතිවුණා. ජාතික ආරක්ෂාවට මුල් තැනක් දුන්නත් මම මේ කියපු කරුණු නිසා ඒක පහළ වැටුණා. "


ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - 

" ජාතික ආරක්ෂාවට මුල් තැන දුන්නානම් ඇයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කරන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත්වුණේ ?"


රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර -

" ඒක කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා ගත් තීරණයක් නෙවෙයි. අපි ආණ්ඩුවෙන් ඉල්ලා අස්වුණාට පස්සේ සැමට එක නීතියක් කියන කෙටුම්පත් සකස් කරලා කැබිනට් එකට යෝජනා ඉදිරිපත් කළා ගණනාවක්. නමුත් ඒ එකක්වත් සලකා බැලුණේ නැහැ. "

No comments

Powered by Blogger.