අත්අඩංගුවේ සිටින හිජාස් හිස්බුල්ලා හමුවීමට ඔහුගේ නීතිඥවරුන්ට අවසර



පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස්  හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නා.


අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කළා.


ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.


එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අවස්ථාව සලසාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි චෝදනා කළා.


අත්අඩංගුවේ පසු වන හිස්බුල්ලා මහතා හමු වී උපදෙස් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා ලිපි 10 ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුනත් ඒ සඳහා අවස්ථාව නොලැබුණු බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.


මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ විරෝධතා මතු කරමින්  මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියා. 


පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අවස්ථා හතක දී පමණ ඔහුට නීතිඥවරු හමුවීමට අවස්ථාව ලබා දී ඇති බවත් රැදවියා හමුවීම සඳහා නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දීම අහිමි කර ඇති බවට මෙම පෙත්සමෙන් එල්ල කර තිබෙන චෝදනා පිලිගත නොහැකි බවත්  අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළා.


කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු ආසාදිත තත්ත්වයකට පත්වූ අතර තවත් නිලධාරීන් 400 ක් පමණ නිරෝධානයට යොමු කෙරුණු බව පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ හේතුවෙන් පසුගිය දිනවල සැකකරුවන් හමුවීමට ප්‍රවේශය සලසාදීමේ ක්‍රියාදාමයේ කිසියම් අඩාල වීමක් සිදු වූ බවද පැවසුවා.


එහෙත් වර්තමානයේ තත්ත්වය පාලනය කර තිබෙන හෙයින් අත්අඩංගුවේ පසු වන රැඳවිය හමුවීම සඳහා අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.


කෙසේ වෙතත් මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අවධාරණය කර සිටියා.


මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට දිනයක් සහ වේලාවක් ලබා දීමට සූදානම් නම් තමා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට ක්‍රියා නොකරන බව දැනුම් දුන්නා.


එහිදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේ අත්අඩංගුවේ පසු වන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවීම සඳහා ඔහුගෙන් නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දිය හැකි දිනය සහ වේලාව හෙට දිනයේ අධිකරණය හමුවේ දැනුම් දෙන ලෙසයි.


ඒ සදහා පෙත්සම හෙට දින කැඳවන ලෙස ද වචන අධිකරණය නියෝග කළා.



මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.


No comments

Powered by Blogger.