රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සිය ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකයේ සියලු දත්ත Factory Reset කරලා



රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනය සඳහා සිය පෞද්ගලික ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය ලබාදී ඇත්තේ සියලු දත්ත මකාදමමින් ඒවා යළි උත්පාදනය කළ නොහැකි තත්ත්වයට පත්කරමින් බව ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා.


මේ බව අනාවරණය වුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව ජනාධිපති කොමිසම වෙත ලබාදුන් අවස්ථාවේදීයී.


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෞද්ගලික ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට භාර කරන ලෙස පසුගිය සැප්තැම්බර් 14 වෙනිදා නියෝග කෙරුණා.


ඒ එදින ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයට පසුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා ඔහු අතර ඇතිවූ දුරකතන සංවාදයක හඬපටයක් කොම්සමට ඉදිරිපත් කිරීම හේතුවෙන්.


අදාළ හඩපටය තුළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකළ වගකිවයුත්තන් වසන් කිරීමට තැත් කළාද යන්න සම්බන්ධයෙන් සැක පළවන බව ජනාධිපති කොමිසම සඳහන් කිරීමත් සමඟයි නිලන්ත ජයවර්ධන මහතාට අයත් පෞද්ගලික ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය භාරකිරීමට නියෝග කෙරුණේ.


ඒ අනුව ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගැණුනු අදාළ උපකරණ විශේෂ විමර්ශනයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරය වෙත යොමුකර තිබුණා.


එහිදී සිදුකෙරුණු විශ්ලේෂණ වාර්තාවද රැගෙන එම අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර සේනාරත්න මහතා ඊයේ රාත්‍රියේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා.


එහිදී ඔහු ජනාධිපති කොමිසමට අනාවරණය කළේ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතන පරීක්ෂාවට ගන්නා අවස්ථාව වනවිට එය " Factory Reset" හෙවත් ජංගම දුරකතනය මුලින්ම භාවිත කළ අවස්ථාවේ තත්ත්වයට පත් කරමින් සියලු තොරතුරු මකාදමා තිබු බවයි.


එම නිසා කිසිදු ආකාරයකින් එලෙස මකා දැමූ කිසිදු තොරතුරක් ප්‍රත්‍යුත්පාදනය කිරීමට නොහැකි බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.


ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - 

" එලෙස factory reset කිරීම ගැන ඔබ නිලන්ත ජයවර්ධනගෙන් විමසුවාද ?"


සම්පත් කුමාර සේනාරත්න - ස්ථානාධිපති - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික ඩිජිටල් විද්‍යාගාරය -

" එතුමා එම ජංගම දුරකතනය බිරිදට පාවිච්චිය සඳහා දුන් බවත් එම නිසා ඊට පෙර එතුමා භාවිත කළ අවධියේ රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ සියල්ල ඉවත් කළා කියලා මට කිව්වා ස්වාමිනි "


මීට අමතරව විමර්ශනය සඳහා භාරකෙරුණු ලැප්ටොප් පරිගණකයේද ඇතැම් දත්ත මකා දමා තිබූ බව සාක්ෂිකරු හෙළිකළා.


කෙසේවෙතත් මකාදැමූ ගොණු ලක්ෂ 26ක් පමණ ප්‍රත්‍යුත්පාදනය කළ බවත් ඉන් ගොණු 210ක් පමණ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට භාර දුන් බවත් සාක්ෂි ලබාදෙමින් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල විශ්‍රාමලත් සහකාර පොලිස් අධිකාරී පරාක්‍රම ලංකාපුර විජේසේකර මහතා ඊයේ දෙවන දිනටත් ජනාධිපති කොමිසම හමුවට පැමිණියා.


එහිදී ශාක්ෂි ලබා දෙමින් මෙලෙස කියා සිටියා...


" ප්‍රහාරය එල්ලවන බවට වූ බුද්ධි තොරතුරු පිළිබඳව හෝටල් සහ පල්ලි දැනුවත් කිරීමේ හැකියාවද SIS සතුව තිබුණා. කාදිනල් මැල්කම් රංජිත් සහ අනෙකුත් ආගමික නායකයින්ට තොරතුරු සැපයිය යුතුව තිබුණා.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන අංශය සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වැනි ආයතනවලට හැකි ඉක්මනින් දැනුම් දිය හැකිව තිබුණා. මෙම තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය කළ හැකිව තිබුණා. හැකි ඉක්මනින් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් අදාළ ස්ථානවලට යෙදවීමට රාජ්‍ය බුද්ධි සේවය කටයුතු කළ යුතුව තිබුණා. 2019 අප්‍රේල් 20 දින සවස ලැබුණු තොරතුරුවලින් පැහැදිලිවම ප්‍රහාර එල්ල කළ අය කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර ගත හැකි බව කියලා තියෙනව. එබැවින් තොරතුරු ප්‍රධාන බලධාරීන්ට ලබා දිය යුතුව තිබූ අතර කිසිවෙකු සම්බන්ධ කර ගත නොහැකි නම් ඔවුන් තම නිවසට ගොස් ඒ පිළිබඳව දැනුම් දිය යුතුව තිබුණා. සහරාන් ගැන ඕන තරන් බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව නසත්තු කර තිබුණා. එවැනි පසුබිමක් තුළ, මේ සම්බන්ධයෙන් වසර ගණනාවක පළපුරුද්දක් ඇති එවකට එහි අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අදාළ බුද්ධි අංශ තොරතුරු පිළිබඳව එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගෙන් උපදෙස් ලබා ගැනීම ප්‍රශ්නාර්ථයක් ස්වාමිනි"


මේ අතර හිටපු ජනපති හා වත්මන් ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ඊයේ අවසන් දිනට සාක්ෂි ලබාදීමට ජනාධිපති කොමිසම වෙත කැඳවනු ලැබුවා.


ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය - 

" ඔබව, ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2018 ඔක්තෝම්බර් 25 අත්අඩංගුවට ගැනීම පිටුපස කවුරුන් හෝ සිටින බවට ඔබ හිතනවද ?"


හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා - ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය -

" මගේ පුද්ගලික මතයනම් එහෙමයි. 2015 ඉදන්ම අලුයට ගිනි තියෙන තැනකයි මම හිටියේ. එදා ඉදන් බැනුම් අවලාද අහන් ප්‍රශ්න රැසක් මැද දෝෂාරෝපණට ලක් වෙවී මට ඉන්න වුණේ. එදා ඉදන් දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණේ. ඒවා උච්චතම අවස්ථාවට ආවම යම් යම් නියෝග දෙනකොට මට ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. මට කාගෙවත් වළං හෝදන්න බැහැනෙ ස්වාමිනි. මම political inquiry කරන්න ගියේ නැහැ. එතකොට මට තේරුණා ඒ දේශපාලන අධිකාරිය මම එක්ක අමනාප ඇති කරගත්තා. පොලිස්පතිට කිව්වා මාව ස්ථානමාරු කරන්න කියලත්. මං දන්නේ නැහැ අර වගේ ඝාතන චෝදනාවක් කරන්නේ කොහොමද කියලා. ඒවගේ මිනිහෙක් එක්ක පරෙවියෙක්වත් උස්සන්න බැහැ වටේ ඉන්න මිනිස්සුන්ට කේළම කියනවා. අන්තිමට මාව අත්අඩංගුවට ගත්තා ස්වාමිනි "


No comments

Powered by Blogger.