විදුලි ජනක යන්ත්‍ර කොටස් රැගෙන එන මුවාවෙන් මෙරටට ආනයනය කළ කෝටි 05 ක මෝටර් රථ 12 ක් රේගු භාරයට



විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් කෝටි 05 කට අධික මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.


අද දින මෙම බහාලුම් 03 විවෘත කර පරීක්ෂා කර බැලීමක් සිදු කළ අතර එහිදී ඒ තුළ තිබූ ටොයෝටා හයි – ඒස් වෑන් රථ 02 ක්, ටොයෝටා විට්ස් කාර් රථ 03 ක්, නිසාන් මිනි වෑන් 01 ක්, හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් ද රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


කොළඹ, ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගනයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ.


කිලෝග්‍රෑම් 12,140 බරැති මෙම අඩි 40 ක් දිග බහාලුම් 03 ක් සිංගප්පූරුවේ සිට කොළඹ ප්‍රධාන පෙළේ රටකට අයත් මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබනු පුද්ගලයෙකුගේ නමට තානාපති වරප්‍රසාද යටතේ කොළඹ වරායට එවා තිබු බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.


නමුත් මෙම බහාලුම් පිළිබඳව රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට ඇති වූ සැකය මත මේ පිළිබඳව සොයා බැලීමේදී මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීවරයා එවැනි ආනයනයක් සිදු කර නොමැති බව අනාවරණය විය.


රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර කොළඹ වරායේ සේවය කරන වාප්පු ලිපිකරුවකු පසුගිය ජනවාරි මස 07 වෙනිදා දින අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයේ ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරු මේ මස 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

No comments

Powered by Blogger.