පානදුරේ ත්‍රීරෝද රථ රියදුරා ඝාතනය කිරීමට දින 7ක කාලයක් කුලී නිවසක රැඳී සැලසුම් කරලා
ඝාතකයින්ට එම නවාතැන්පොළ ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පසුගිය ජනවාරි මස 25 වන දින පෙරවරු 9.15ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබුණි.
එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මේ අතර එම ඝාතනය සඳහා යොදාගත්තේ යැයි සැකකෙරෙන ගිනි අවියක්, ජීව උණ්ඩ 16ක් සහ මැගසිනයක් පානදුර වඳුරාම්මුල්ල ප්‍රදේශයේ තිබියදී හමුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම ගිනි අවිය උපයෝගි කර ගත්තේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
එම ඝාතනය සිදුකළ පුද්ගලයින් පිළිබඳව සහ ඔවුන් ගමන්කළ ප්‍රදේශ පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදුකරනු ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
Leave a Comment